
අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනගේ මරණ පරික්ෂණයට අදාල රස පරීක්ෂක වාර්තාව කඩිනමින් අධිකරණයට ලබා දීමට කටයුතු කරන ලෙස දන්වා රජයේ රස පරීක්ෂකවරයාට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (22) යළිත් සිහි කැඳවිම් ලිපියක් නිකුත් කළා. තවද මෙම සිද්ධියට අදාලව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව කඩිනමින් ලබා දෙන ලෙසට රජයේ අධිකරණ වෛද්‍යවරයා වෙත නොතිසි ද නිකුත් කළා. සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි කොළඹ අපරාධ කොට්ඨාශය පවසා සිටියේ රස පරීක්ෂක වර්තා ලැබී නොමැති බවයි. සිද්ධියට අදාල මරණ පරීක්ෂණ සාක්ෂි කැඳවා අවසන් බැවින් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ රස පරීක්ෂණ වාර්තාව ලබා ගැනීම සඳහා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට සහ රජයේ රස පරීක්ෂකවරයාට පෙර නඩු දිනයේදී මහේස්ත්‍රාත්වරයා විසින් නොතිසි නිකුත් කර තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ අධිකරණ වර්තා ලබා ගැනීමට එම වෛද්‍යවරයා වෙතද දන්වා ඇති බවයි. පෙර නඩු දිනයේ ද රජයේ රස පරීක්ෂකවරයා වෙත සිහි කැඳවිම් ලිපියක් මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර තබුණා. ඉදිරිපත් වු කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා රස පරික්ෂක වර්තා කඩිනමින් ලබා දීමට රස පරික්ෂකවරයාට යළිත් සිහි කැඳවිම් ලිපි නිකුත් කළා. එමෙන්ම කපිල චන්ද්‍රසේන මහතාගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන් කරන ලද විමර්ශන ඇතුලත් ප්‍රගති වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අද (22) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කළා. නඩුව කැඳවු අවස්ථාවේදි මහේස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාශයට දන්වා සිටියේ මරණකරුගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන් කරන ලද විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බවයි. එම අවස්ථාවේදි කොළඹ අපරාධ කොට්ඨාශය දන්වා සිටියේ ජංගම දුරකථනයේ දත්ත ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර පොලිසිය හරහා අදාල ආයතන දැනුවත් කර ඇති බවයි. එම ජංගම දුරකථනයේ තොරතුරු ලබා ගැනීම සම්බන්ධයෙන් ඇපල් සමාගම වෙත ඉල්ලීමක් කර ඇති බව ද කොළඹ අපරාධ කොට්ඨාශය පෙර නඩු දිනයකදී අධිකරණයට දන්වා තිබුණා. මෙම නඩුව ලබන 19 යළි කැඳවිමට නියමිතයි.