
“ජාතික සංවර්ධනය යනු ශීලාචාර, විනය ගරුක, පරාර්ථකාමී සමාජයක අතිකාල කිරීමට හෝ වෙනත් අතුරු රැකියා, ආදායම් මාර්ග සෙවීමට බල නොකෙරෙන,ගෘහියික මූලික අවශ්‍යතා සඳහා වන වියදම අඩු නැතිව පියවා ගැනීමට පමණක් නොව, විවේකය පලදායි ලෙස ගත කිරීමටත් සෞන්දර්යාත්මක සංස්කෘතික භාවිතයක් සමග වන තෘප්තිමත් ජීවිතයක් වෙනුවෙනුත් ප්‍රමාණවත් අවම දෛනික වැටුපක් හෝ ආදායමක් සියලු වැඩිහිටි පුරවැසියනට සහතික කෙරෙන ආර්ථික ක්‍රියාවලියකි.” (ජාතික සංවර්ධනය සම්බන්ධ මගේ අර්ථ දැක්වීම)

රටේ ජනතාවගේ දෛනික ජීවන ප්‍රශ්න, ජනතාව මුහුණ දෙන සමාජීය අනාරක්ෂාව හා අවිනිශ්චිතය මේ නායකයින්ට එක්කෝ හරියාකාරව හඳුනා ගැනීමට නොහැක. නැතිනම් හඳුනා ගැනීමට වුවමනාවක් නැත. නාගරික මැදපංතික ජීවන රටාවට බලපාන්නාවූ වෙළඳපල ආර්ථික අර්බුදයෙන් ඔබ්බට ගිය බරපතල සමාජ පිරිහීමට විසඳුම් ඉදිරිපත් කිරීමේ දේශපාලන වගකීමක් නොමැති විට, ජාතික සංවර්ධන සැළසුම් හදන්නට නොහැක.

**ආර්ථිකය සැළකූ විට ඉකුත් ජුනි අවසානය වන තෙක් ගෙවුනු අවුරුදු 03 ක කාලයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාර්ගෝපදේශ සමග ප්‍රතිව්‍යුහගත කළ ණය ප්‍රමාණයට අමතරව තවත් ඩොලර බිලියන 02 ට වැඩියෙන් ජනාධිපති වික්‍රමසිංහ යටතේත් ජනාධිපති අනුර කුමාර යටතේත් ආණ්ඩු ණය ගෙන ඇත. ඉදිරියේදී තව ණය ගැනීමට සිදුවනු ඇත. අවශ්‍ය විදේශ විනිමය ඉපැයීමේ කිසිදු සැළැසුමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටවත් මේ මාලිමා ආණ්ඩුවටවත් නැති හෙයිනි. **
අවුරුදු 50 ට ආසන්න කාලයක් විවෘත වෙළඳපල ආර්ථිකය සමග පැමිණි මේ ගමන ජාතික සංවර්ධනයක් වෙත ගමන් යෑමක් නොවුනි. මෙය හැම අතින්ම ඇති-නැති පරතරය වැඩි කෙරෙන ගමනකි. දුප්පත්කම වගා කෙරෙන ආදායම් හා වත්කම් බෙදී යාමේ පරතරය විශාල කෙරෙන්නකි. ඉතිහාසය පුරා සමාජ-ආර්ථික “විෂමතාව” නඩත්තු කෙරුණේ, ඒ වෙනුවෙන් නිෂ්පාදනය කෙරුණු “මතවාද” සමගින් යැයි ප්‍රංශ ආර්ථික විද්‍යාඥ තොමස් පිකෙටි පවසන්නේ එනිසා වෙනි.
විසඳුම් නොමැති මාලිමා ආණ්ඩුව විසදුම් ගෙනෙන තෙක් බලා සිට ඉදිරි වසර 02 ද අපතේ නොහැර අප “ජාතික සංවර්ධන” සැළසුමක් හදා ගැනීමේ අනාගත ගමන් යා යුතුව ඇත.
දුප්පත්කම තුරන් කිරීම, යහපත් සමාජයක මනුස්සකම වගා කර ගැනීම පිළිබඳ කතාවකි. එයට අඛණ්ඩ ජාතික සංවර්ධන ක්‍රියාවලියක් හරහා ස්ථාවර විසඳුම් අවශ්‍ය වන අතර, කෙටි කාලීන සංක්‍රමණික විසඳුම් කිහිපයක්ද අවශ්‍ය වේ.

1.දරිද්‍රතා රේඛාව තීන්දු කළ යුත්තේ වාර්ෂික ඒක පුද්ගල ආදායමෙන් සියයට 50 ක් ලෙස ය.
සමාජ සුභ සාධනය තීන්දු කළ යුත්තේ පාසල් අධ්‍යාපනය, පාසල් ගමනා ගමනය, ප්‍රජා සෞඛ්‍ය සේවාව සමග පවුල් සෞඛ්‍ය සඳහාවන අවකාශ අනුවය. ඒ සඳහා සමෘද්ධි දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවට වග කියන්නාවූ ස්වාධීන සුභසාධන මණ්ඩලයක් ලෙස ස්ථාපිත කළ යුතුය.
ජාතික අවම මාසික වැටුප ප්‍රකාශිත ඒක පුද්ගල ආදායමෙන් අඩක් වශයෙන් තීන්දු කළ යුතුය.

එවගේම “ජාතික සංවර්ධන සැළසුම” ගැන කතිකාවට පදනම් විය යුතු මූලික සිද්ධාන්තයක් ඇත. එය මෙලෙසින් කැටි කරමි. අපගේ ජාතික වෙළඳපල ඉතා සීමිත වෙළඳපලකි. එය තමිල්නාඩුවේ චෙන්නායි නගරයේ වෙළඳපලටද වඩා කුඩා වූවකි. එවැන්නක් මත පමණක් අපගේ ජාතික සංවර්ධනය සම්පූර්ණ කළ නොහැක. එබැවින් අපගේ ජාතික සංවර්ධනය දෘෂ්ඨිමය වශයෙන් කලාපීය යොමුවක් ඇතිව සැළසුම් කළ යුතු වන්නේය. ඒ වෙනුවෙන් “සාක් සංවිධානය” යළි ප්‍රතිසංවිධානය කර ගැනීමේ දේශපාලන වගකීම ලංකාණ්ඩුව බාර ගත යුතුය.
එළෙසින් වන කලාපීය දෘෂ්ඨියෙහි ජාතික සංවර්ධන පදනම ලෙස,
● ග්‍රාමීය ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයක් ලෙස සැළසුම්කර ඒ වෙනුවෙන් ආයෝජන යොමු කිරීම ● ආනයන හා අපනයන වෙළඳාම සමාජීය අවශ්‍යතා වෙනුවෙන් නියාමනය කිරීම ● අපනයන නිෂ්පාදන ශක්‍යතාවක් ඇති දේශීය සමාගම් වලට විදේශීය වෙළඳපලට ඇතුළු විය හැකි ආකාරයේ විශේෂ සහන ලබාදීම ● විධිමත් අධ්‍යාපනය, සෞඛ්‍ය හා මගී ප්‍රවාහනය ආණ්ඩු සතු ප්‍රධාන සමාජ වගකීම් ලෙස බාර ගනිමින් ඒ සඳහා ජාතික ප්රතිපත්තීන් තීන්දු කෙරෙන ධවල පත්‍රිකා සමාජ කතිකාවකට තැබීම.
එවගේම මානුෂීය, කාර්යක්ෂම ආණ්ඩු පාලනයකට නව රාජ්‍ය ව්‍යුහයක් අත්‍යාවශ්‍ය වන්නේ ය. එය තල තුනක බල බෙදීමක් ලෙස සංවිධානය කළ හැකිය. ඒවා “ජන සහභාගි” ප්රජාතන්ත්රවාදී නියෝජන ආයතන ලෙස ව්‍යවස්ථාගත කළ යුතුය. ඒ සඳහා,

● පළාත් පාලන ආයතනවල වාර්ෂික අයවැය, පළාත් පාලන ආයතනය විසින් සම්මත කර ගැනීමට පෙර වරිපනම් බදු ගෙවන්නන්ගේ ඡන්දයෙන් අනුමත කරගත යුතුය. එයට සංශෝධන ඉදිරිපත් කිරීමේ බලයක් වරිපනම් බදු ගෙවන්නන්ට තිබිය යුතුය.
● පළාත් පාලන ආයතනයේ සෑම අඩ වසරකම කාර්ය සාධන වාර්තාව ප්‍රසිද්ධියට පත් කළ යුතුය.
පළාත් සභාද ජන සහභාගි නියෝජන ආයතන ලෙස ඉහත අයුරින්ම එවැනිම වගකීම් සමග ස්ථාපිත කළ යුතුය.
● පළාත් සංවර්ධන සැළැස්මට සංශෝධන ඉදිරිපත් කිරීමේ අයිතිය පළාතේ ඡන්දදායකයාට ඇත්තේ එම සංශෝධන සඳහා ඔහුගේ හෝ ඇයගේ දිස්ත්‍රික්කයෙන් ඡන්දදායකයින් අවම දාහක් අත්සන් කරන්නේ නම් පමණක් විය යුතුය.
● එළෙසින් සංශෝධනය වන හෝ නොවන පළාත් සංවර්ධන සැළසුම පළාතේ මත විමසුමකින් සම්මත කළ යුතුය.
● වසරක් පාසා පළාත් සභාවෙහි කාර්ය සාධන වාර්තාවක් ප්‍රසිද්ධියට පත් කළ යුතුය.
මැතිවරණ වලට සීමා නොවන ජන සහභාගි ප්රජාතන්ත්රවාදයක් සහතික කෙරුණු පළාත් පාලන හා පළාත් සභා සමග අද මෙන් විශාල පාර්ලිමේන්තුවක් අවශ්‍ය වන්නේ නැත. පළාත් සංවර්ධනය ජනතා අභිමතය ඇතිව පළාත් ආයතන වෙත පැවරෙන හෙයින්, පාර්ලිමේන්තුවට ඉතිරි වන්නේ ජාතික ප්‍රතිපත්ති සම්පාදනය, ආරක්ෂක හා විදේශ කටයුතු වැනි සීමිත වගකීම් කිහිපයක් පමණි. ඒ සඳහා මන්ත්‍රීවරුන් 225 ක පාර්ලිමේන්තුවක් නඩත්තු කිරීම, මහජන මුදල් නාස්තියකි.

ජන සහභාගි නියෝජන සමග ප්‍රාදේශීය හා පළාත් සංවර්ධන වගකීම් ඇති පළාත් පාලන හා පළාත් සභා අප පිහිටුවන්නේ නම්, නව පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් 125 ක් සිටීම ප්‍රමාණවත් ය.
එවැනි ආණ්ඩු පාලන ව්‍යුහයක් සඳහා අනිවාර්යයෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය විය යුතුය. එය කුඩා විශේෂඥ කණ්ඩායමකින් කෙටුම්පත් කර සම්මත කරන්නක් නොවිය යුතුය. පළමු සටහන කෙටුම්පත් කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන විද්වත් කමිටුවක් පත් කළ යුතුය. එහිදී අප පැමිණිය යුතු මූලික ප්‍රතිපත්තිමය එකඟතාවක් ඇත. සියලු පුරවැසියනට සුරක්ෂිත ශිෂ්ට ජීවිතයක් වෙනුවෙන් “ජාතික සංවර්ධනය” හා “පරිසර සුරක්ෂාව” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි මූලික අයිතීන් ලෙස කෙටුම්පත් විය යුතුය.

මෙය ඊළග මැතිවරණයට පෙර ඉදිරි වසර 02 ක තුල සාක්ෂාත් කර ගැනීම සඳහා සමාජ කතිකාවකට ඉදිරිපත් කරන්නකි.
(සටහන | කුසල් පෙරේරා) ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී [email protected]