
හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ වාචික පොරොන්දුවක් මත, යුපුන් අබේකෝන් කරන ඉල්ලීම ඉටු කිරීමට අමාත්‍යංශයට හැකියාවක් නොමැති බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසනවා.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ඇමරිකන් ඩොලර් ලක්ෂ තුනක් යුපුන් හට ලබාදීමට වාචිකව පොරොන්දු වී ඇති බවත් ඔහු එම මුදල රජයෙන් ඉල්ලා සිටින බවයි.
ඒ අනුව ක්‍රීඩා අමාත්‍යාංශයේ ස්ථාවරය වන්නේ එවැනි වාචික පොරොන්දු මත පමණක් පදනම්ව මෙවැනි විශාල මුදලක් ගෙවීමට හැකියාවක් නොමැති බවයි.
අමාත්‍යාංශයට අනුව, ක්‍රීඩකයන්ට මුදල් ගෙවනු ලබන්නේ 'මිෂන් ඔලිම්පික්' (Mission Olympic) වැඩසටහන යටතේ ක්‍රීඩකයාගේ වර්තමාන දක්ෂතාවය සහ ශ්‍රේණිගත කිරීම් (Performance-based) සලකා බැලීමෙන් පසුවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"යුපුන් කියන්නෙ දක්ෂ ක්‍රීඩකයෙක්. ලංකාවට කීර්ති නාමයක් ගෙනාපු, පදක්කම් ගෙනාපු ක්‍රීඩකයෙක්. නමුත් යුපුන් දැනට ජීවත් වෙන්නෙ ඉතාලියේ. අපි යුපුන් එක්ක සාකච්ඡා කළා. දිගටම යුපුන් එක්ක කතා කළා. යුපුන් අමාත්‍යංශයට ආවා. මීට මාස කීපයකට කලින් යුපුන් පාර්ලිමේන්තුවටත් ඇවිල්ලා අපි සාකච්ඡා කළා.
නමුත් යුපුන්ගෙ ඉල්ලීම ටිකක් වෙනස්. ඉතින් ඒක අපිට අමාරුයි යුපුන්ට දෙන්න. යුපුන්ට හරීන් ඇමතිතුමා පොරොන්දු වෙලා තියෙනවා කියනවා ඇමරිකන් ඩොලර් ලක්ෂ තුනක් එයාට දෙන්න. ඉතින් එයා ඒ හරීන් ඇමතිතුමා වාචිකව පොරොන්දු වෙච්ච ඩොලර් ලක්ෂ තුන අපෙන් ඉල්ලනවා. ඉතින් අපිට එහෙම සල්ලි දෙන්න බැහැ.
අපි පෆෝමන්ස් බේස් කරලා තමයි අපි ක්‍රීඩකයොන්ට ගෙවන්නෙ. මිෂන් ඔලිම්පික් කියලා අපේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒවයේ අපි දෙන ගණන් තියෙනවා. ඉතින් ඊට එහා ගෙවීමක් කරන්න අපිට යුපුන්ට අමාරුයි. විශේෂයෙන්ම අපි ක්‍රීඩා අමාත්‍යංශය මේ වගේ ක්‍රීඩකයෝ පිළිබඳ ගෙවීම් කරනවා නම් ඒවා දක්ෂතාවය වර්තමානයේ ඒගොල්ලගේ එයාලා ඉන්න පොසිෂන් එක අනුව තමයි අපිට ගෙවීම් කරන්න වෙන්නේ.
එහෙම නැතුව කවුරු හරි කලින් ආණ්ඩුවක ඇමතිවරයෙක් වාචිකව කිව්ව ගෙවීමක් අපිට කරන්න අමාරුයි. ඉතින් අපි කැමතියි එයා අපේ අනිත් අය වගේම ඇවිල්ලා ක්‍රීඩා කරනවා නම් අපිට ඒ පහසුකම් දෙන්න පුළුවන් නමුත් යුපුන්ගෙ ඒ ඉල්ලීම අපිට කරන්න අමාරුයි"
ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් ක්‍රීඩා දිවියෙන් සමුගන්නා බව ඊයේ (21) නිවේදනය කළා.
ඒ, සිය ෆේස්බුක් පිටුවෙහි දීර්ඝ සටහනක් තබමින්.
ඔහු සඳහන් කර ඇත්තේ, "ක්‍රීඩා කිරීමට තවත් කාලය තිබියදී ක්‍රීඩාවෙන් සමුගැනීමට ගත් තීරණය පහසු නොවුණු බව" ය.