
ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක නායක රෝහණ විජේවීරගේ බිරිඳ හා දරුවන්ගේ නඩත්තු වෙනුවෙන් රජය මේ දක්වා වැයකර තිබෙන මුදල රුපියල් දෙකෝටි හැට දෙලක්ෂ හැත්තෑ අටදහස් පනස් දෙකක් බව පාර්ලිමේන්තුවේ දී ඊයේ (21 වැනිදා) අනාවරණය කෙරුණා.
මේ බව අනාවරණය වූයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර අසා තිබූ ප්‍රශ්නයකට අදාළව ආරක්ෂක නියෝජ්‍ය ඇමැති විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සභාගත කළ පිළිතුරකිනි.
බිරිඳ හා දරුවන් 1992 වසරේ ජූනි මස සිට 1999 අගෝස්තු මාසය දක්වා ත්‍රිකුණාමලය නාවික කඳවුරේ ද එම මාසයේ සිට මේ දක්වා වැලිසර නාවික සංකීර්ණයේ ද සිටින බවත් නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කරන ලදී.
රෝහණ විජේවීර මහතාගේ මරණයෙන් පසුව ඔහුගේ බිරිඳ හා දරුවන් ආරක්ෂා කිරීම සඳහා රැකවරණය ලබාදීම රජය විසින් සිදුකර ඇති බවද, ඒ යටතේ ඔහුගේ බිරිඳ ශ්‍රීමති චිත්‍රාංගනී ප්‍රනාන්දු, වැඩිමහල් දියණිය දසුන් ඊගා විජේවීර, දෙවන දියණිය සුපුන් මාගා විජේවීර, තෙවන දියණිය මායා විභූති විජේවීර, බාල දියණිය අමා සසිරි විජේවීර, වැඩිමහල් පුතා උවිඳු විදුර විජේවීර හා බාල පුතා සුපුන් අදිශ විජේවීර රජයේ රැකවරණය යටතේ සිට ඇති බවද එම පිළිතුරේ සඳහන්.
එමෙන්ම තවදුරටත් රෝහණ විජේවීර මහතාගේ බිරිඳ වන ශ්‍රීමති චිත්‍රාංගනී ප්‍රනාන්දු හා තෙවන දියණිය වන මායා විභූති විජේවීර රජයේ රැකවරණය යටතේ සිටින බවද ඔවුන්ගේ ආරක්ෂාව සහ නඩත්තුව වෙනුවෙන් මාසයකට රජය රුපියල් 153,220.25ක මුදලක් වැය කරමින් සිටින බවද එම පිළිතුරේ වැඩිදුරටත් සඳහන් වේ.