
ශ්‍රී ලංකාවේ ප්‍රථම ඇළ මාර්ග මත ඉදිවන සූර්ය බලශක්ති (Canal-Top Solar) ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා වන මූලික ශක්‍යතා අධ්‍යයනය මහියංගනය වියානා ඇළ ආශ්‍රිතව සිදු කෙරේ. ඊට අදාළ විශේෂ ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාව සහ ප්‍රගති සමාලෝචන සාකච්ඡාව ජූලි 20 වන දින මහියංගනයේදී පැවැත්විණි.
මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල සහ මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී අලහකෝන් යන මහත්වරු එක්වූහ. ඊට අමතරව, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර, අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු රෝහණ රම්බොඩගේ, ලංකා විදුලි බෙදාහැරීමේ සමාගමේ සැලසුම් ඉංජිනේරු අසිත අත්තනායක යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
කිලෝමීටර් 20කට අධික දිගකින් යුතු පුළුල් ඇළ මාර්ගයක් වීම නිසා ජාතික විදුලි පද්ධතියට විශාල පුනර්ජනනීය බලශක්ති ධාරිතාවක් එක් කිරීමේ හැකියාව පැවතීම සහ වසරේ වැඩි කාලයක් පවතින ප්රශස්ත සූර්යාලෝකය හේතුවෙන් මෙම ව්‍යාපෘතිය සඳහා වියානා ඇළ තෝරාගෙන තිබේ.
මෙහි ඇති විශේෂත්වය වන්නේ සූර්ය පැනල මගින් ඇළ ආවරණය වන බැවින් ජල වාෂ්පීභවනය පාලනය වීම, අධික උණුසුම් කාලගුණයේදී ජල උෂ්ණත්වය යෝග්‍ය මට්ටමක පවත්වා ගත හැකිවීම සහ හරිත හයිඩ්රජන් (Green Hydrogen) වැනි දියුණු බලශක්ති ව්‍යාපෘති සඳහා පදනමක් සකස් වීමයි.
එමෙන්ම, ආරක්ෂිත විදුලි අලි වැටක් ද ඇතුළත් වන බැවින් වන අලින් ඇළට වැටීමේ අවදානම ද අවම වේ.
මෙම ව්‍යාපෘතිය ජලය ගෙන යන ඇළ මාර්ගයක් පමණක් නොව, පිරිසිදු විදුලිය නිපදවන, ජලය සහ වන අලින් සංරක්ෂණය කරන, ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති ප්‍රතිපත්තියට නව දිශානතියක් ලබා දෙන ජාතික මට්ටමේ ආදර්ශමත් සංවර්ධන පියවරක් වනු ඇත.