
බුලත් විටෙන් මෙන්ම දැහැත් වට්ටියෙන්ද පුවක් හා දුම්කොළ ඉවත් කොට විකල්ප යොදා ගත යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් (දන්ත) වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසනවා.
ඒ, පුවක් මෙන්ම දුම්කොළ ද ඉතා දරුණු පිළිකා කාරක වශයෙන් මේ වන විට හඳුනාගෙන ඇති බැවිනි.
ලෝක මුඛ පිළිකා දිනය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට මල්වතු අස්ගිරි නාහිමිවරුන් හමුවූ අවස්ථාවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කරන ලදී.
තවදුරටත් අදහස් පළ කළ වෛද්‍ය චන්දන ගජනායක මහතා,
'මේ වන විට වසරකට මුඛ පිළිකා රෝගීන් 1200 ක් පමණ වාර්තා වෙනවා. එක් දිනකට මුඛ පිළිකා රෝගීන් 10 දෙනකු වාර්තා වෙනවා. ඉන් තිදෙනකු දෛනිකව මරණයට පත්වෙනවා. මේ තත්ත්වයට ප්‍රධානම හේතුව තමයි බුලත් විට. බරපතළ කාරණය තමයි පුවක් හා දුම්කොළ, හුනු භාවිතය. නාගරිකකරණය නිසා කෙළ ගැසීමට තැන් නොමැතිව ජනතාව බුලත් කෑමෙන් මඳක් ඈත් වුණත් ඊට වඩා භයානක දෙයක් දැන් ඇතිවෙලා තිබෙනවා. ඊට ආදේශක වශයෙන් පාකිස්තානය, ඉන්දියාව වගේ රටවල්වලින් දුම්කොළ, පුවක්, හුනු හා සීනි කලවම් කළ බාබුල් හා නොයෙක් නමින් යුත් කුඩා ඉටි ආවරණයක් සහිත පැකට්ටුවක් එනවා. මේවා දැන් ලංකාවෙත් හදනවා. පාසල් හා උසස් අධ්‍යාපන ආයතන අසල කුඩා වෙළෙඳසල්වල මේවා විශාල වශයෙන් අලෙවි වෙනවා. මේවා භාවිත කළාම යම් මත්වීමක් සිදුවෙනවා. මේක තමයි තරුණ ළමයින් මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වන ප්‍රථම අවස්ථාව.
වසරකට පිළිකා රෝගීන් 35000 ක් හඳුනා ගන්නා බවත් වසරකදී රෝගීන් 15000 ක් මරණයට පත්වන බවත් ජාතික පිළිකා මර්දන ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය සේනක තලගල මහතා ද මෙහිදී සඳහන් කරන ලදී.
එමෙන්ම දෛනිකව වාර්තා වන පිළිකා රෝගීන් සියයක් අතුරින් රෝගීන් හතළිහක් පමණ මරණයට පත්වන බවත් ඒ මහතා පෙන්වා දෙන ලදී.
මෙම පිරිස අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක නාරම්පනාවේ ශ්‍රී ආනන්ද නාහිමියෝද හමුවූ අවස්ථාවේ උන්වහන්සේ සඳහන් කළේ තමන් මේ වන විටත් දැහැත් වට්ටියෙන් දුම්කොළ සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවයි.
මල්වතු මහා නා හිමියෝ මෙන්ම අනුනායක හිමියන්ද මෙහිදී සඳහන් කළේ පිරිවෙන් ආශ්‍රිතවද මෙම මත්වන බුලත් විට භාවිත කරන බව දැනගන්නට ලැබී ඇති බැවින් එය රටින් තුරන් කිරීමට නීතිගෙන ඒම යහපත් බවයි.