
ඉරානය සමඟ පවතින යුද මෙහෙයුම් සඳහා මේ වන විට ඇමෙරිකාව වැය කර ඇති මුළු මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 37.5 ක් බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසනවා. ඔහු මෙම තොරතුරු අනාවරණය කළේ සෙනට් අයවැය කමිටුව හමුවේ කරුනු දක්වමින්. එහිදී හෙග්සෙත් සහ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ඩෑන් කේන්, ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.5 ක ආරක්ෂක අයවැයක් ඉල්ලා සිටි අතර, එයින් ඩොලර් බිලියන 70 ක් ඉරාන යුද මෙහෙයුම් සඳහා වෙන් කරන ලෙසද යෝජනා කර තිබෙනවා. කෙසේ වෙතත්, මෙම නිල ඇස්තමේන්තුව ආර්ථික විශ්ලේෂණ ආයතන ඉදිරිපත් කර ඇති සංඛ්‍යා දත්තවලට වඩා අඩු බව සඳහන් වනවා. Moody’s Analytics ආයතනය ඇස්තමේන්තු කර ඇත්තේ, ඉහළ ගිය ඉන්ධන මිල සහ අනෙකුත් ආර්ථික බලපෑම් සැලකිල්ලට ගත් විට, මෙම යුද්ධය ඇමෙරිකානු ආර්ථිකයට ඩොලර් බිලියන 150 ක් දක්වා පිරිවැයක් දැරීමට සිදු විය හැකි බවයි. සැප්තැම්බර් මාසය අවසානය දක්වා පවත්වාගෙන යන මෙහෙයුම් හා නඩත්තු වියදම්ද මෙම ඩොලර් බිලියන 37.5 තුළ ඇතුළත් වන නමුත්, ආරක්ෂක ලේකම් හෙග්සෙත් ඒ පිළිබඳ විස්තරාත්මක තොරතුරු අනාවරණය නොකළ බව සඳහන්. මෙම ප්‍රමානය මැයි මාසයේ ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රකාශ කළ ඩොලර් බිලියන 29 ක පෙර ඇස්තමේන්තුවට වඩා ඩොලර් බිලියන 8 කින් වැඩිය. සෙනට් අයවැය කමිටුව හමුවේ හෙග්සෙත් අවධාරණය කළේ, යුද්ධය හේතුවෙන් ඇමෙරිකාවේ අවි ගබඩා මත දැඩි පීඩනයක් එල්ල වී ඇති බවත්, ඉහළ ඉල්ලුමක් ඇති මිසයිල, JDAM මඟපෙන්වන බෝම්බ, හයිපර්සොනික් අවි සහ ඩ්‍රෝන විනාශ කිරීමේ පද්ධති නිෂ්පාදනය කඩිනම් කිරීම සඳහා අමතර අරමුදල් අත්‍යවශ්‍ය වන බවත්ය. ජූනි 17 සිට ක්‍රියාත්මක වූ සටන් විරාම අවබෝධතා ගිවිසුම බිඳ වැටීමෙන් පසු, ඇමෙරිකාව සහ ඉරානය අතර ගැටුම් යළිත් උත්සන්න වී තිබෙනවා.