
බංග්ලාදේශ කරාතේ සම්මේලනය සංවිධානය කළ 2026 දකුණු ආසියානු කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ කරාතේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෝකඩ පදක්කම් 5ක් දිනාගැනීමට සමත් වී තිබේ.
ජූලි 18 සහ 19 යන දෙදින බංග්ලාදේශයේ ඩකා නුවර ෂහීඩ් සුහ්රාවර්දි ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගාවලියට දකුණු ආසියානු රටවල් හතක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූහ.
ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනාම පදක්කම් දිනාගත් අතර, ප්‍රධාන නාවික සෙබළ ඒ.ඩී.එන්.එස්. ආරියරත්න මහතා පිරිමි කිලෝග්‍රෑම් 50ට අඩු කුමිතේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත්තේය.
කාන්තා නාවික සෙබළ පී.එල්.එම්. නෙත්මිණි කිලෝග්‍රෑම් 61ට අඩු කාන්තා කුමිතේ ඉසව්වෙන් සහ කණ්ඩායම් කුමිතේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම් දෙකක් දිනාගත් අතර, කාන්තා ප්‍රධාන නාවික සෙබළ කේ.ඒ.සී. දුලාංජලී ද කිලෝග්‍රෑම් 68ට අඩු කාන්තා කුමිතේ සහ කණ්ඩායම් කුමිතේ ඉසව්වලින් ලෝකඩ පදක්කම් දෙකක් දිනාගැනීමට සමත් වූවාය.
මෙම දක්ෂතාවය ශ්‍රී ලංකා නාවික හමුදාව ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීමේ හැකියාව යළිත් තහවුරු කරමින් ශ්‍රී ලංකාවට මෙන්ම නාවික හමුදාවටද ගෞරවයක් එක්කර ඇති බව සඳහන් වේ.