
‘Rizana – A Caged Bird’ ලෙස නම්කර තිබූ, (වර්තමානයේ ‘Rihanna’ ලෙස නම්කර ඇති) චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම, නිකුත් කිරීම, බෙදාහැරීම, විකාශය කිරීම, විකිණීම හෝ වෙනත් කිසිදු ආකාරයකින් වාණිජමය වශයෙන් භාවිත කිරීම වළක්වමින් කොළඹ වාණිජ මහා අධිකරණය වාරණයක් නිකුත්කර ඇත.
කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු, අමාලි රණවීර විසින් මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත්තේ ජගත් සුමතිපාලට සහ සුමති ස්ටුඩියෝස් ආයතනයට එරෙහිවය.
ප්‍රකට චිත්‍රපට අධ්යක්ෂ හා සම-නිෂ්පාදක චන්ද්‍රන් රත්නම් විසින් ගොනුකරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත්කර ඇත.
විත්තිකරුවන් තමන්ගේ දැනුවත්භාවයකින් හෝ බලයකින් තොරව චිත්‍රපටයේ නම වෙනස් කර, එහි අන්තර්ගතය වෙනස් කරමින් සහ නිර්මාණාත්මක අයිතිය වෙනත් පාර්ශ්වයන් වෙත පවරමින් එය වාණිජමය වශයෙන් භාවිත කිරීමට උත්සාහ කරන බව පැමිණිලිකරු චෝදනා කර සිටී.
එමෙන්ම, චිත්‍රපටයේ අධ්‍යක්ෂණය, නිෂ්පාදනය සහ කතෘත්වය පැමිණිලිකරු නොවන වෙනත් පුද්ගලයන්ට පවරමින්, එහි ජවනිකා වෙනස් කිරීමට, නැවත රූගත කිරීමට හෝ තෙවන පාර්ශ්වයන් වෙත අයිතිවාසිකම් පැවරීමට උත්සාහ කරන බවද පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් කරයි.
පැමිණිලිකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ මෙම චිත්‍රපටයේ මුල් සංකල්පය, අධ්‍යක්ෂණය සහ සම-නිෂ්පාදනය චන්ද්‍රන් රත්නම්ගේ අසමසම නිර්මාණාත්මක දැක්ම සහ කලාත්මක ප්රකාශනයක් වන බවයි.
සෞදි අරාබියේ සේවය සඳහා ගොස්, එහිදී සිදුවූ සිදුවීමකට අදාලව මරණ දඬුවම නියම වූ ශ්‍රී ලාංකික බාලවයස්කාර ගෘහ සේවිකාවක වූ රිසානා නෆීක්ගේ ඛේදජනක කතා පුවත ඇසුරින් මෙම ‘Rizana: A Caged Bird’ චිත්‍රපටය නිර්මාණය කර තිබේ.